Saturday, January 12, 2019

දරුවා සමග කියැවීම වැදගත් ඇයි?


තම දරුවාට මනා අධ්‍යාපනයක් ලබා දිය යුතු බව සෑම දෙමව්පියෙක්ම පාහේ සිතති. එහෙත් හොඳ අධ්‍යාපනයක් ලබා දීමට නම් දරුවා කුඩා වයසේ සිට කියැවීමට හුරු කළ යුතු බව බොහෝ දෙමව්පියන් දන්නා බවක් නොපෙනේ. දරුවා ඉදිරි අධයාපන ක්‍රියාවලියට හුරු කිරීමට අමතරව එලෙස එක් කියැවීමේ ධනාත්මක බලපෑම අති මහත්ය. එබැවින් දරුවාට පොත පත ලබා දී ඔහු කියවන තුරු බලා නොසිට ඔහු කියැවීම කෙරෙහි ක්‍රියාකාරීව යොමු කිරීමට උත්සාහ ගැනීම කළ යුත්තකි. එහිදී ප්‍රධාන වශයෙන් මුල් ළමා වියේදී මව හෝ වෙනත් වැඩිහිටියන් දරුවා සමග කියැවීම වැදගත්ය. එලෙස දරුවා සමග පොත පත කියැවීම, එසේත් නැත්නම් පොත බලා ඔහුට/ඇයට කතාන්දර කියා දීම කරුණු කිහිපයක් නිසා දරුවාගේ මානසික සහ පුද්ගල සංවර්ධනයට හේතු වේ.

ඥාණන ක්‍රියාවලිය

ඥාණනය යනු සරලවම බුද්ධිය මෙහෙයවීම යන්නයි. කතාන්දර අසා සිටින දරුවා එහි පියවරින් පියවර වන සිදුවීම්වල විකාසනය හඳුනාගැනීමේ හැකියාව ලබා ගනී. එමෙන්ම චරිත අතර සබඳතාවන් සහ පින්තූර මගින් කතාව ගොඩනගාගැනීමේ හැකියාවද ඒ ඔස්සේ ඔහුට ලැබේ. කතාව කියා දීමට පෙර පින්තූර දෙස බලා සිදුවන දේ අනුමාන කිරීමට දරුවාට අවස්ථාව ලබා දීමද හොඳ බුද්ධිවර්ධන අභ්‍යාසයකි. එමෙන්ම කතාන්දරය සම්පූර්ණයෙන්ම රස විඳීමට නම් දරුවා එහි මුල් සිද්ධීන් ගැන මකත තබා ගත යුතු අතර එය මතකය පිළිබඳ පුහුණුවකි. ඊට අමතරව කතාව අවසානයේදී එම කතාව නැවත තමා වෙනුවෙන් මතකයෙන් කියන්නැයි වැඩිහිටියා විසින් ඉල්ලා සිටීම මතක වර්ධනයට සුදුසු අභ්‍යාසයක් වේ. කතාව ඇසුරින් සරල ප්‍රශ්න ඇසීමද දරුවාට ලබා දිය හැකි ඥාණනය හා සබැඳි ක්‍රියාකාරකමකි.
එසේම කියැවීම යනු යම් කාලයක් එක තැනක හිඳ එක් අරමුණකට සිත යොදවමින් කෙරෙන ක්‍රියාවලියකි. එබැවින් එය දරුවාගේ අවධානය යොමු කිරීමේ හැකියාව ද වර්ධනය කරයි.

ලේඛන ක්‍රියාවලිය පිළිබඳ මූලික හුරුව ලබා ගැනීම

මෙහිදී අකුරු නමින් හඳුන්වන දෘෂ්‍ය සංකේත පද්ධතිය හා අප භාවිතා කරන භාෂාවේ වචන නැමති ශබ්ද සංකේත පද්ධතිය අතර ඇති සබඳතාව දරුවා වටහා ගනී. මව හෝ වැඩිහිටියා ඇඟිල්ල තබා පෙන්වන තැන ඇති රූපමය ඒකකය හා ඇගේ/ඔහුගේ මුවින් පිටකරන ශබ්ද අතර සබඳතාවක් ඇති බව දරුවාට ප්‍රථම වරට දැනෙන්නට පටන් ගනී. මෙය එදිනෙදා ජීවිතයේ සහ අධ්‍යාපනයේදී ඔහුට වැදගත් වන අකුරු සහ වචන වල අර්ථ පිළිබඳව ඔහු ලබන මුල්ම අත්දැකීම වෙයි. එම අත්දැකීම නිසි ලෙස ලබා දීම මගින් පාසල් අවධියේදී ඔහු පිවිසෙන අධ්‍යාපන ක්‍රියාවලිය මෘදු ලෙස කරගෙන යාමට අවශ්‍ය පදනම සැකසේ. එමෙන්ම වමේ සිට දකුණටත්, ඉහළ සිට පහළටත් වශයෙන් වන කියැවීමේ රටාව මෙහිදී දරුවා හඳුනාගනී. පොත පත පමණක් නොව එදිනෙදා භාවිත කරන භාණ්ඩවල ලේබල හෝ මහ මග දකින නාම පුවරු ආදියද ළමයා සමග කියැවීමද වඩාත් ප්‍රායෝගික අභ්‍යාසයකි.

මව සහ දරුවා අතර සම්බන්ධතාවය

දරුවා ඇකය මත හෝ ළඟින් තබාගෙන පොත කියවන විට ඔහු/ඇය සමග වැඩිහිටියාට ඇති සබඳතාව දියුණු වේ. කැවීම, සේදීම, නිදි කරවීම වැනි ඉපදුණු දා සිට දරුවා සමග යෙදෙන ක්‍රියාකාරකම්වලට බැහැරින් ලැබෙන කියැවීමේ අත්දැකීම දරුවාට අලුත් එකක් වෙයි. එමෙන්ම කියවන පොත්වල රසවත් කරුණු දෙදෙනාම එකතුවී රසවිඳින බව පෙන්වීම දෙදෙනාටම මිහිරි මතකයක් එකතු කරයි. යම් පොතක් කියැවීමෙන් පසු එහි ඇතුළත් සිද්ධි සහ චරිත ආදිය වෙනත් අවස්ථාවල මතක් කිරීම මේ වින්දනයේම එක කොටසක් වෙයි. එමෙන්ම කතාවට අදාළ හැගීම් මුහුණින් පෙන්වීම, දරුවාට ඒවා හඳුනාගැනීමට උදව් කිරීමද මව සහ දරුවා අතර අන්තර්බන්ධනය දියුණු වීමට ඉවහල් වේ. එමෙන්ම නින්ද යන තුරු කතා කීම හෝ පොත් කියැවීම මේ බන්ධනය වඩාත් දැඩි කරයි. එක් අතකින් එය මව යම් මොහොතකට වෙන් වන බව දැනෙන (මව දරුවා සමගම නින්දට නොයන බැවින්) අවස්ථාවක් වන අතර එහිදී මව ඔහු/ඇය එක්වරම නින්දට නොයවා ඔහු සමග රැඳෙමින් කතාවක් කීම ඔහුගේ මානසික සුරක්ෂාව පිළිබඳ හැගීම දියුණු කරයි. එමෙන්ම එය තමා වෙනුවෙන්ම කාලයක් වෙන් කළ බව ඔහුට හැඟවීමට සමත් වෙයි.

සහභාගීත්වය සහ ආදර්ශය


දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නේ අනුකරණයෙනි. මවත් කියවීම මව විසින් සුද කරන විට දරුවාද එය කියැවීමට උත්සාහ ගනී. මව ශබ්ද උච්ඡාරණය කරන අයුරු සහ කතාව  රස විඳින අයුරු දරුවාට නිරීක්ෂණය වන අතර කියැවීම ක්‍රියාකාරකමක් ලෙස අනුකරණය කිරීමට එයින් පෙළඹවීමක් ඇතිවේ.

මේ අයුරින් දරුවා සමග කියැවීම ළමා මනසට කරන යහපත් බලපෑම් රැසක් වේ. එමෙන්ම දරුවා සමග කියැවීම  මවට හෝ වැඩිහිටියාට ප්‍රීතිජනක අත්දැකීමක් බව පෙන්වීම ඔස්සේ කියැවීම මගින් රසවින්දනය ලබා ගැනීමට දරුවා හුරු කළ හැකිය. විශේෂයෙන්ම දරුවාගේ අධ්‍යාපනයේ මූලික පියවර වන්නේද මේ කියැවීමේ හුරුවයි. 

Thursday, January 3, 2019

ළමා සාහිත්‍යය; අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස එහි වැදගත්කම.


ලෝක සාහිත්‍ය සම්ප්‍රදායයට අයත් ඉතා වැදගත් අංගයක් ලෙසින් ලෙසින් ළමා සාහිත්‍යය සඳහා සැලකිය යුතු අවධානයක් සහ වටිනාකමක් ලැබී තිබේ. කෙටි කතා, නවකතා ආදී අනෙක් සාහිත්‍යාංගයන්ට වඩා ළමා සාහිත්‍ය කෘති ඔස්සේ කියවන්නා තුළ ඇති කළ හැකි බලපෑම අධික බව පොදුවේ පිළිගැනෙන සත්‍යයකි. ඒ ළමා සාහිත්‍යයේ ඉලක්කගත පාඨක පිරිස වන වැඩෙන මිනිසා හෙවත් ළමයාගේ මනසට පහසුවෙන් පොළඹවාලිය හැකි එමෙන්ම ඉක්මනින් බලපෑම් එල්ල කළ හැකි බැවිනි.
ළමා සාහිත්‍යයයේ වපසරිය සහ සීමාවන් පිළිබඳව හඳුනාගැනීම කිහිප අයුරකින්ම වැදගත් වෙයි. ප්‍රධාන වශයෙන්ම ළමා සාහිත්‍යකරණයේ යෙදෙන නිර්මාණකරුවන්ට සිය නිර්මාණාශීලීත්වය මුවහත් කරගැනීම සඳහා ළමා සාහිත්‍යය පිළිබඳ දැනුම ලබා ගැනීම අවශ්‍ය වේ. ළමා සාහිත්‍යයේ ආකෘති, ප්‍රවර්ග, ප්‍රවණතා, සහ විභවතා හදුනාගැනීම මගින් ඕනෑම රචකයෙකුට තමන්ගේ ලේඛකත්වයේ සීමාවන් පුළුල් කරගැනීමට අවස්ථාව ලැබේ.


එමෙන්ම ළමා සාහිත්‍යය විෂය ක්ෂේත්‍රයක් ලෙස වෙනමම හැදෑරීමට ලක් වන්නකි. ඒ අනුව ළමා සාහිත්‍යයට සම්බන්ධ අධ්‍යයනයන් සිදු කිරීම විශ්වවිද්‍යාල මට්ටමෙන් සිදුවේ. ළමා සාහිත්‍යයේ නිර්මාණාත්මක පාර්ශ්වය, එහි සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ, මනෝවිද්‍යාත්මක බලපෑම්,  දේශපාලනික කියැවීම් වැනි පාර්ශ්වයන් අධ්‍යයනය කිරීම දක්වා දුරක් ළමා සාහිත්‍යය ඔස්සේ යාමට විශ්වවිද්‍යාල අධ්‍යයන හා පර්යේෂණ මට්ටමේදී පුළුවන. විෂයයක් ලෙස ළමා සාහිත්‍යයේ ඇිත වැදගත්කම අවධාරණය කිරීමට හා වෙනත් විෂය ක්ෂේත්‍ර සමග ළමා සාහිත්‍යයේ ඇති අන්තර්සබඳතා හඳුනාගැනීමටත් මෙම අධය්‍යයනයන් වැගත්වේ.

මීට අමතරව ළමා සාහිත්‍යය ප්‍රබල ඉගැන්නුම් මෙවලමකි. කතාන්දර ඇසීම සෑම සමාජයකම දරුවන් අත්විඳින ක්‍රියාකාරකමක් සහ විනෝදාස්වාදය සපයන මාර්ගයක් වන අතර ආකල්ප, විශ්වාස හා දැනුම සම්ප්‍රේෂණය කරන මාධ්‍යයක් ලෙස මෙම කතාන්දර වැදගත් වෙයි. ඒ අනුව ළමා සාහිත්‍යය යනු මුල් ළමා විය සංවර්ධනයේදී මගහැර යා නොහැකි ඉගැන්නුම් මෙවලමක්ද වෙයි. එබැවින් අධ්‍යාපන ක්‍රියාවලියට ආදළ වන තවත් එක් ක්ෂේත්‍රයක් ලෙස ළමා සාහිත්‍යය අවධානයට ලක්වේ.


ළමා සාහිත්‍යය වෙනත් කලා මාධ්‍ය රැසක් සමග අන්තර්සබඳතාවක් පවතී. චිත්‍රකලාව ළමා සාහිත්‍යය හා සම්බන්ධ වන්නේ එය ළමා සාහිත්‍ය නිර්මාණ ශක්තිමත් කරන එක් උපාංගයක් ලෙසිනි. කියවීමේ මුල් අදියරේ සිටින දරුවන් වෙනුවෙන් නිර්මාණය වන පින්තූර කතාපොත් වල අකුරුවලට වඩා මුල්තැන දෙන්නේ පින්තූරයටයි. කියැවීමේ හැකියාව මදක් වර්ධනය කරගත් දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන පොත්වලදී අකුරු සඳහා දෙන අවධානය ඉහළ යන නමුත් පිංතූර සඳහා යොදන අවධානය අඩු නොවේ. එමෙන්ම කියැවීමේ ඉහළ අදියරවල සිටින ළමුන් සඳහා නිර්මාණය කරන ළමා සාහිත්‍ය කෘතිවල අවස්ථානුකූලව අඩු වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙමින් පින්තූර අන්ගත කරයි. මෙලෙස ගත් කල ළමා සාහිත්‍යය සිතුවම් සමග විශේෂ සම්බන්ධතාවක් ඇති විශය ක්ෂේත්‍රයකි. එබැවින් ළමා සිතුවම් නිර්මාණ ශිල්පය විශේෂ ප්‍රවීණතාවකින් යුතුව නියැලිය යුතු විෂයයක් බවට පත්වී තිබේ.


එමෙන්ම ළමා සාහිත්‍ය කෘති සහ සිනමාව අතර ඇත්තේ පුළුල් ගනුදෙනුවකි. විශ්වීය මට්ටමින් ජනප්‍රියභාවයට පත් වී ඇති බොහෝ ළමා සාහිත්‍ය කෘති සිනමාවට නැගී තිබේ. විශේෂයෙන්ම සජීවීකරණ සිනමාව ළමා සාහිත්‍ය කෘති පදනම් කරගැනීම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති බව පෙනේ. ළමා සාහිත්‍ය කෘතිවල කතා සහ වස්තු විෂයයන් ඇනිමේෂන් සිනමා මාධ්‍යයට වඩාත් සුදුසු වීම මෙයට හේතුව වී තිබේ. මේ පිළිබඳව පුළුල්ව කතා බහ වන ලිපියක් මෙම බ්ලොග් අවකාශයේදී නුදුරේදී පළ වනු ඇත. 


මීට අමතරව ළමා සාහිත්‍යය යනු අද වන විට කර්මාන්තයක් බවටද පත් වී තිබේ. වෙළඳපොළ තරඟය සඳහා ගුණාත්මක භාවයෙන් ඉහළ පොත් පළ කිරීමට ගන්නා උත්සාහය ළමා සාහිත්‍යයේ නව මුහුණුවර ඉස්මතු කරන්නට සමත් වී තිබේ. ළමා පොත් කෙරෙහිම විශේෂ අවධානයක් යොමු කරන පොත් ප්‍රකාශකයන් බිහිවී ඇති අතර පොත් ප්‍රදර්ශනවල විශේෂ ඉඩකඩක් ළමා පොත් ප්‍රකාශකයන්ට හිමි වේ. එමෙන්ම ළමා පොත්වල හැඩය, කඩදාසි වර්ග සහ නිමාව පිළිබඳව විශාල දැනුමක් හා සම්මත පිළිපදිමින් සහ බිඳදමමින් ඉදිරියට යන ක්ෂේත්‍රයක් බවටද ළමා සාහිත්‍ය කෘති ප්‍රකාශනය පත් වෙමින් තිබේ.


මීට අමතරව තවමත් අපේ රටේ නොමැති වුවත් ළමා සාහිත්‍යටම වෙන්වූ පොත් ප්‍රදර්ශන, සැනකෙළි සහ උත්සව ජාත්‍යන්තර මට්ටමේදී දැකිය හැකිය. ඒවා මගින් ළමා සාහිත්‍යයේ අවකාශය විවිධත්වයෙන් පුරවමින් තිබේ. රටක් ලෙස අපටද එවන් අවස්ථා නිර්මාණය කරගත හැකිනම් ළමා සාහිත්‍යය අධ්‍යයනය කිරීම සහ ඒ සමග අපට ගනුදෙනු කළ හැකි ආකාරයන් මොනවාදැයි ගවේෂණය කිරීම සඳහා අලුත් මංපෙත් විවිර වේ. එවන් ක්‍රියාකාරකම් ඔස්සේ ළමා සාහිත්‍යයේ ඍජු බලපෑම ලබන දරුවන්ටත්, ඒ සම්බන්ධව උනන්දු වන නිර්මාණකරුවන් සහ ප්‍රකාශන ක්ෂේත්‍රයේ පාර්ශ්වයන්ටත් අවශත්‍යාවශ්‍ය දැනුම හා මග පෙන්වීම ලැබෙනු ඇත.