ළමා සාහිත්‍ය මූලිකාංග 02
සරල බව
ළමා සාහිත්‍යය සරල බව
පදනම් කොට ගෙන බිහි වන්නකි. ළමයා යනු වැඩෙමින් පවතින මනසක් ඇති ජීවියෙකු බව අපි
පිළිගන්නා බැවින්, වැඩුණු මිනිසෙකු තරම් කරුණු අවබෝධ කරගැනීමේ හැකියාවක් නොමැත.
එබැවින් ඔහු ග්‍රහණය කරගන්නා දේ කුඩා මනසට ගැලපෙන සරල බවින් යුක්ත වීම අනිවාර්ය
වේ.
මේ සරල බව කියැවීමේ ප්‍රවීණතාවයේ
විවිධ අදියරවලට ගැලපෙන ලෙස ලියැවෙන ළමා කෘතිවල විවිධ අයුරින් අන්තර්ගත විය හැකිය
එනම්. අකුරු උගැන්ම අරඹන වයසේ දරුවන් වෙනුවෙන් සීමිත වදන් සහ අක්ෂර මාලාවක්
ඇසුරින් ලියැවෙන කෘතියකට වඩා කියැවීම ප්‍රගුණ කළ ඉහළ වයස් කාණ්ඩවල දරුවන් වෙනුවෙන්
ලියැවෙන කෘතියක සරල බව අභියෝගයට පත් වන අවස්ථා තිබිය හැකිය. එසේ වුවද මේ ඕනෑම වයස්
කාණ්ඩයක් සඳහා ලියැවෙන කෘතියක්ම සරල බවින් බැහැර නොයයි.
ළමා කෘතියක ඇති සරල බව
කරුණු කිහිපයක් ඔස්සේ හඳුනාගත හැකිය.
තේමාත්මක සරල බව -
අප දරුවන් වෙනුවෙන්
ලියන්නට තෝරා ගන්නේ සරල වූ තේමා පමණි.ඒවා බොහෝ විට දරුවන්ට පහසුවෙන් ග්‍රහණය
කරගත හැකි ඔහුගේ අත්දැකීම් පරාසය තුළ නියෝජනය වන තේමාවන් වේ. සමගිය, සත්ව කරුණාව,
සහෝදර-රියන් සමග කරන ගනුදෙනු හෝ ක්‍රීඩා ආදිය උදාහරණ ලෙස ගත හැකිය. මෙවන් සරල තේමා
නොවන දේශපාලනය, ආර්ථික විද්‍යාව වැනි සංකීර්ණ තේමා කිසි විටෙක ළමා සාහිත්‍ය කෘති
විසින් ඇසුරු කරනු නොලැබේ.
Frog and Toad by Arnold Lobel
සරල චරිත නිරූපණය-
වැඩිහිටි සාහිත්‍යය
කෘතියක් විචාරයට ලක් කරන විට සංකීර්ණ චරිත නිරූපණයෙන් යුතු වීම සාර්ථක ලක්ෂණයක්
ලෙස සලකනු ලැබේ. එහෙත් ළමා කෘතියක් තුළ සංකීර්ණ චරිත නිරූපණයක් අවශ්‍ය නොවේ. එමෙන්ම
සංකීර්ණ චරිත නිරූපණ ළමයාට අවබෝධ කරගැනීමට දුෂ්කරය. පොදුවේ මිනිස් මනස තුළ හට
ගන්නා පොදු භාවයන් ඇසුරින්, එමෙන්ම පොදුවේ මිනිසුන් ක්‍රියා කිරීමට පෙළඹෙන සීමාවන්
තුළ කතාන්දර නිර්මාණය කිරීමට ළමා සාහිත්‍යකරුවාට සිදුවේ. මේ සඳහා වන පැහැදිලි
හේතුව වන්නේ පුද්ගලයන්ගේ සංකීර්ණ සිතිවිලි සහ ක්‍රියාකාරකම් තාර්කිකව අවබෝධ
කරගැනීමට තරම් ළමා මනස මෝරා නොතිබීමය.
ළමා සාහිත්‍යකරුවාට ඇති
එක් අභියෝගයක් වන්නේද මෙම සීමාව තුළ හිඳගෙන නැවුම් අයුරින් නිර්මාණාත්මක සාහිත්‍ය
කෘති ගොඩනැංවීමය.
සරල ආකෘතිය -
සංකීර්ණ ආකෘතික හරඹයකින්
යුතුව කතාව නිර්මාණය කිරීම වැඩිහිටි සාහිත්‍ය නිර්මාණකරුවාගේ දක්ෂතාවක් විය හැකි
වුවත් එය ළමා සාහිත්‍ය කෘතියකදී සාධනීය ලක්ෂණයක් සේ නොසැලකේ. ඉන් මිදුණු අවස්ථා පැවතිය හැකි වුවත් ඒවා සරල
ආකෘතික අත්හදාබැලීමකින් ඔබ්බට නොයයි. සරල සංකල්පයක් ඇසුරින් ඉදිරිපත් කරන මුල්
අදියරේ ළමා පොත් වල ඇත්තේ සරල රේඛීය
ආකෘතියකි.එමෙන්ම මුල මැද අග සහිත කතාන්දර ඉදිරිපත් වන විට පවා ඒවා සරල කතාන්දර ආකෘතියකින්ම
ඉදරිපත් වේ.
සරල වාග්කෝෂය-
කෘතියක් අදාළ වන කියැවීම
මට්ටම අනුව විවිධ විය හැකි එහෙත් පොදුවේ සංකීර්ණ නොවන වාග් කෝෂයක් ළමා සාහිත්‍ය
කෘතිවල භාවිත වේ. විශේෂයෙන්ම පළමු කියැවීම් මට්ටමේ සිටින දරුවන් සඳහා වාග් කෝෂය
තෝරා ගැනීමේදී සම්පූර්ණ අක්ෂරමාලාවම භාවිතා කරන්නට පවා අවස්ථාව නොලැබේ. දරුවාට
මෙතෙක් ඉගෙනගෙන නැති සංකීර්ණ අකුරු සහිත වදන් මෙහිදී යොදාගන්නේ නැත. එමෙන්ම ඉහළ
කියැවීම්මට්ටමක සිටින දරුවන් වෙනුවෙන් ලියැවෙන කෘතියක වුවද වාග් කෝෂය යොදා
ගැනෙන්නේ දුරවබෝධ වදන් හැකි තරම් මග හරිමිනි. දුරවබෝධ වදන් වැඩිපුර යෙදීම දරුවාට
කෘතිය ග්‍රහණය කර ගැනීමට අපහසු වීමට මෙන්ම කියැවීම වෙහෙසකර කාර්යයක් වීමටද හේතු
වේ.
මේ අයුරින් සෑම විටම පාහේ
සරලත්වයට මුල් තැනක් දීම ළමා සාහිත්‍ය කෘතිවල මූලික ලක්ෂණයක් ලෙස සලකනු ලැබේ.