Tuesday, September 3, 2019

මමයි මගේ බයයි... ළමා මනසට මෘදු ලෙසින් එබී බැලීමක්

මමයි මගේ බයයි...
ළමා මනසට මෘදු ලෙසින් එබී බැලීමක්
·         Me and My Fear
·         කතාව සහ සිතුවම් - Francesca Sanna
බිය හෝ චකිතය අපි කිසිවෙකුට අමුතු දෙයක් නොවේ. තනි පුද්ගලයන් ලෙස අපි විවිධ විවිධ දේවලට බිය වන්නෙමු. උස්තැන්වලට, ජලපහරවලට ලේ දැකීමට බිය වන අය සුලබය. ඊට අමතරව බහුතරයකට සාමාන්‍ය ලෙස පෙනෙන දේවල් කෙරෙහි බිය වන පුද්ගලයන්ද නැතුවා නොවේ. එවන් අවස්ථා මනෝ විද්‍යාවේදී ෆෝබියා ලෙස හඳුනාගැනේ.
මීට අමතරව පොදු මිනිසුන් ලෙස අපි එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථාවලට මුහුණ දෙන්නට බිය වන්නෙමු. නව පිරිසක් ඉදිරියට යාමට හෝ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී ඇතිවන බිය අත් නොදුටු කෙනෙක් නොමැති තරම්ය. වැඩිහිටියන් වන අප, මේ අයුරින් අවස්ථානුකූලව ඇතිවන බිය හෝ චකිතය යනු කුමක්දැය වටහා ගන්නට සමත් වන්නෙමු. එබැවින් එම චකිතය දනවන අවස්ථාවට හොඳින් මුහුණ දීම සඳහා අවශ්‍ය මානසික සූදානම ඇති ඇති කරගැනීමට අපට හැකියාව තිබේ.

එහෙත් මේ අයුරින් ඇතිවන බිය හෝ චකිතය ළමා සිත්වලට බලපාන්නේ වෙනස් අයුරිනි. මනසේ මතුවන වෙනස් සිතිවිලි ධාරාවන් පිළිබඳව ස්වයං විශ්ලේෂණයක් සිදු කරගැනීමට දරුවෝ අසමත් වෙති. එබැවින් එවැනි අවස්ථාවන්ට මුහුණ දීම දරුවන්ට වඩාත් අපහසු වන අතර එමගින් වෙනත් විවිධ මනෝ සංකූලතා ද මතු විය හැකිය. එවන් අවස්ථාවන්හි ස්වභාවය හඳුනාගැනීමට හා එයට වඩාත් සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සහය, දිරිය සහ මගපෙන්වීම වැඩිහිටියන් විසින් ලබා දීම වැදගත් වේ. එමෙන්ම ළමා පොත් ඔස්සේ එවන් අවස්ථාවන් දරුවන්ට සමීප කරවීම ඒ හා සමාන මොහොතක් එළඹුණු විට එයට මුහුණ දීමට දරුවන් තුළ පූර්ව සූදානමක් ඇති කරයි.
ගේ කෘතිය එලෙස කුඩා දරුවෙකු තම මන්සේ ඇතිවන බිය හා චකිතය සමග කරන අරගලය මනාව විස්තර කරන්නකි. එය කරුණු කිහිපයක් නිසා සුවිශේෂී වන කෘතියකි.


මෙම ළමා පින්තූර කතා පොතට පදනම් කරගෙන ඇති සංකල්පය ඉතා අපූර්ව වෙයි. දරුවෙකු එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන අවස්ථා ආදිය මිස ඔවුන් ගේ සියුම් මානසික ස්වභාවයන් ළමා පොත් වල වස්තු විෂයයන් වන අවස්ථා විරලය. එයට හේතු වන්නේ සියුම් මනෝභාවයන් ග්‍රහණය කරගනිමින් ළමා කතාවක් ලිවීම අතිශය අසීරු කරුණක් වීම හා එවන් වස්තු විශයක් ළමා කෘතියක් ලෙස ගොඩනැගීම වඩාත් අසීරු වන බැවිනි. එය අතිරේක නිර්මාණාත්මක වෑයමක් ඉල්ලා සිටින ප්‍රස්තුතයකි. එහෙත් මෙම කෘතිය ඔස්සේ කතුවරයා සහ චිත්‍රශිල්පිණිය එම අභියෝගය සාර්ථකව ජයගෙන තිබේ.


එම සංකල්පය ඉදිරිපත් කිරීමට කෘතිය තුළ යොදාගන්නා නිර්මාණාත්මක උපක්‍රමයන්ද සිත්ගන්නාසුලුය. ඉහතදීද සඳහන් කරන ලද පරිදි ළමා කෘතියක් තුළ සියුම් මානව හැඟීම් ගොඩනැංගවීම පහසු නොවේ. එම හැඟීම් මනා ලෙස ප්‍රතිනිර්මාණය වන්නෙ සුදුසු නිර්මාණාත්මක උපක්‍රම යොදාගතහොත් පමණි. මෙම කෘතියේදී ළමා සිත තුළ ඉස්මතු වන බිය දැක්වීම සඳහා යොදාගෙන ඇත්තේ මවාගත් යහළුවෙකුගේ චරිතයකි. දරුවන් කුඩා කල මවාගත් යහළුවන් ඇසුරු කරති. නිරන්තරයෙන් කතා කිරීමට සහ අන් අය ඇසුරු කිරීමට දරුවන්ට තුළ මතුවන අවශ්‍යතාව මේ ඔස්සේ පූරණය කරයි. මෙම කෘතියේ ප්‍රධාන චරිතය වන දැරියගේ මවාගත් යහළුවා වන්නේ බියයි. හැසිරීමෙන් සෑම විටම ඔහු මිතුරෙකු නොවුවද බිය චරිතයක් ලෙසින් නිරන්තරයෙන්ම දැරිය සමග රැඳී සිටියි. (I have always had a secret. A tiny friend called Fear- 2 පිටුව) එය ඔවලාකාර හැඩැති ජීවියෙකු ලෙසි සිතුවම් කිරීමට චිත්‍ර ශිල්පියා කටයුතු කර ඇත. ඒ අනුව එම චරිතය ආඛ්‍යානය පුරාම දැරිය සමග රැඳී සිටී.


කෘතිය තුළ ගොඩනැගෙන කතාන්දරයට අනුව දැරිය සහ ඇගේ මව්පියන් සිය පදිංචිය මාරු කරමින් නව ප්‍රදේශයකට පැමිණෙයි. වටපිටාවේ සිදුවන වෙනස සමග දැරියගේ සිත තුළ බිය/චකිතය වර්ධනය වෙයි.  (අපි අලුත් පළාතකට ආව නිසා, බය දැන් ඉස්සර වගේ පොඩි නෑ - 4 පිටුව) 
මෙම බිය චරිතය ඔස්සේ නව වටපිටාව තුළ දැරිය මුහුණ දෙන සිදුවීම් විස්තර කර දක්වයි. නව නිවසට පැමිණි විගස දැරියට අවට සිරි නැරඹීමට යාමට අවශ්‍ය වුවද බිය එයට ඉඩ නොදෙයි. නුහුරු වටපිටාවේ ඇති සියල්ල දැරිය දකින්නේ බිය සමගිනි. නව පාසලට ගිය විට බිය අනවරතව දැරිය සමඟ රැඳී සිටියි. යහළුවන් කිසිවෙකු නොමැති පරිසරයක බිය සමග ජීවත්වන දැරිය මානසික කඩාවැටීමකට ලක්වෙයි. පාසල නිමා වූ විගස දැරිය නිවස බලා යාමට ඉකමන් වෙයි. ඇය එසේ නිවස වෙත කැඳවාගෙන යන්නේ බිය විසිනි. මේ සියලු සිදුවීම් හා බිය සම්බන්ධ වන ආකාරය සිතුවම් තුළින් මනාව නිරූපණය කර තිබේ.


එක් දිනක් ඇගේ පන්තියේ සිටින එක් පිරිමි ළමයෙක් ඇය සමග මිතුරු වීමට උත්සාහ කරයි. එය කතවේ හැරවුම් ලක්ෂය බවට පත් වේ. දැරිය ඔහුගේ මිතුරු දම පිළිගනී. ඔවුන් දෙදෙනා සෙල්ලම් කරන අතරතුරු බල්ලෙක් හමුවන අතර මිතුරු පිරිමි ළමයා තුළ ඌ කෙරෙහි බියෙන් උපදියි. එහිදී, කුඩා දැරිය අන් අය තුළද බිය ඇති බව ප්‍රථම වරට හඳුනාගනී. ඉන් පසු දැරිය ක්‍රමක්‍රමයෙන් තම පන්තියේ සිටින සියලු දෙනාම යම් යම් දේ සඳහා බියෙන් පෙළෙන බව අවබෝධ කරගනී. එමෙන්ම බිය විවිධ අවස්ථාවල විවිධ තරමින් ඉස්මතු වන බව ක්‍රමයෙන් ඇය පසක් කරගනී. අප තුළ ඇති බිය සියල්ලන්ටම පොදු එකක් බවත් සිය කටයුතු සඳහා එය ගැටලුවක් කරගත යුතු නොවන බවත් ඇය ඉන්පසු වටහාගනී.


මෙම ළමා කෘතිය පිටු 32ක් පුරා දිවෙන්නක් වන අතර සිතුවම්වල සහය පෙරටු කොටගෙන ප්‍රවේශමෙන් ගොඩනංවන ලද පෙළ මගින් කතාන්දරය මනාලෙස ඉදිරියට ගලා යයි.



මේ සංකීර්ණ මනෝභාවය ළමා මනසට ගැලපෙන අයුරින් ගොඩනංවමින් ඉදිරිපත් කරන ආකාරය ඉතාම සුවිශේෂී මෙන්ම අතිශය නිර්මාණශීලීද වෙයි. සිතුවම් සහ පිටුසැලසුම් ආදී සියලුම දෘෂ්‍යාංග මූලික කතා සංකල්පය ඉස්මතු කිරීම සඳහා අතිශය ප්‍රබල ලෙස සංයෝජනය වී තිබේ. 

Sunday, July 21, 2019

ළමා සාහිත්‍යයේ සඳ ගමන

තමා සඳ මත තැබූ මිනිස් පියවර සටහන මිනිස් වර්ගයේ යෝධ පියවරක් බව නීල් ආම්ස්ට්‍රොන් පවසා සිටියා. සඳ ගමන ගැන වැඩිහිටියන් මෙන්ම දරුවන්ද දැනගත යුත්තේ අපේක්ෂා සහගත මිනිසුන් සිය ඉලක්ක ජය ගැනීම පිළිබඳව පාඩමක් එහි අන්තර්ගත වන නිසයි.

පෘථිවිවාසී මානව වර්ගයා ලෙසින් 2019 වසරේදී අපි සඳ ගමනේ 50 වැනි සංවත්සරය සමරනවා. ඒ වෙනුවෙන් ලොව පුරා විවිධ සැමරුම් සංවිධානය වෙද්දී සඳ ගමන හා සබැඳිව නිර්මාණය වුණු ළමා පොත් රැසක්ද මෙම වසරේ එළි දැක්වී තිබෙනවා. ඉන් සමහරක් නවතම කෘති වන අතර ඇතැම් ඒවා මෙම වසරේදී නැවත මුද්‍රණය වූ ඒවා. මේවායින් ඇතැම් කෘති නිර්ප්‍රබන්ධ ලෙසත් ඇතැම් කෘති ප්‍රබන්ධ කෘති ලෙසත් ඉදිරිපත් කොට තිබෙනවා. සඳ ගමන සිදු වූ ආකාරය පිළිබඳව තොරතුරු මෙන්ම සඳගමනට සම්බන්ධ විවිධ පසුබිම් සංසිද්ධිද පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති මෙම ළමා පොත් පුළුල් පරාසයක පැතිරී පවතිනවා.


Go FOR THE MOON, A Rocket, a Boy, and the First Moon Landing මේ අතර සුවිශේෂී කෘතියක්. සඳ ගමන සිදු වූ ආකාරය එහි තාක්ෂණික පසුබිම සමගින් සවිස්තරව දැක්වීම අරමුණු කරගත් මෙහි ඒ සඳහා අපූරු ආඛ්‍යාන උපක්‍රමයක් යොදාගෙන තිබෙනවා.



 ඒ අනුව සැබෑ ලෙස සඳ ගමන සිදු වූ දිනයෙහි කුඩා දරුවෙකු එය දුටු ආකාරය මෙහි ඉදිරිපත් වෙනවා. අභ්‍යවකාශගාමීන් සඳ වෙත යන ගමන ඇරඹූ දින සිට ඇපලෝ 11 යානය සඳ මතට ගොඩබසින තුරු පෘථිවියේ සිට එයට මනසින් සම්බන්ධව සිටින කුඩා පිරිමි ළමයෙක්ගේ චරිතය ඇසුරින් මෙම කෘතිය ගලා යනවා. ඔහු සිය නිවසේ ඔහුගේ කාමරයේ ඇපලෝ 11 යානයේ ආකෘතියක්ද තනාගෙන තිබෙනවා. ඔහුද මනෝමයෙන් සඳ ගමනේ යෙදෙන අතර සඳ ගමනට අදාල තාක්ෂණික දැනුම මෙන්ම කරුණුමය තොරතුරුද පියවරින් පියවර මෙහි විස්තර වෙනවා.


අවසානයේ සඳමත ගොඩ බැසීමේ පුවත විකාශය වන ආකාරය නැරඹීමට සියළු නිවැසියන් රූපවාහිනය වටා එක් වීමත් සමග කෘතියේ පරිසමාප්තිය එළඹෙනවා. මෙහි කතාව ඉදිරිපත් කරන්නා ලෙසින් යොදාගෙන ඇති කුඩා දරුවාගේ චරිතය නිර්මාණය කර ඇත්තේ කෘතියේ රචකයා මෙන්ම චිත්‍ර ශිල්පියාද වන ක්‍රිස් ගේල්ගේ ළමා වියේ ඔහු විඳි සැබෑ අත්දැකීම් ඇසුරින්.


සඳ ගමනේ සංවත්සරය සමරමින් නිර්මාණය කර ඇති A Computer Called Katherine: How Katherine Johnson Helped Put America on the Moon කෘතිය වඩාත් සුවිශේෂී වන්නේ එය චරිතාපදානයක් වන බැවින්. එයින් කැතරින් ජොන්සන් ගණිතඥවරියගේ ජීවන තොරතුරු ඉදිරිපත් වන අතර ඇය නාසා ආයතනයේ පර්යේෂණවලට දායක වෙමින් ඉදිරිපක් කරන ලද ගණිතකර්ම සඳගමන සඳහා ඉමහත් පිටිවහලක් වුණා. විශේෂයෙන්ම ඇය විසින් ඉදිරිපත් කරන ලද පෘථිවි කක්ෂයේ දුර පිළිබඳ ගණනය කිරීම් සඳ ගමනට පදනම් වූ මූලික දැනුමක් වුණා. ඇයගේ තවත් සුවිශේෂීත්වයක් වූයේ ඇය අප්‍රිකානු ඇමරිකානු ජාතිකයෙක් වීමයි.


 කළු ජාතිකයන් සඳහා තිබූ අපමණ සීමා මායිම් නොතකමින් මානව ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයකට තීරණාත්මකව දායක වීමට ඇය සමත් වූවා. කළු ජාතිකයන්ට ඇතැම් දේ කළ නොහැකිය යන මතය මෙන්ම කාන්තාවන්ගේ උරුමය වන්නේ හෙදියක් හෝ ගුරුවරියක් වීම පමණයක්ය යන මතයද සාවද්‍ය බව ඇය ඔප්පු කොට පෙන්වූවා.
සඳ ගමනේ සංවත්සරයත් සමග ඇයගේ විශ්ෂ්ටත්වයද මේ ළමා කෘතිය සමගින් ඉස්මතු කර දක්වනවා.


කෘතියේ චිත්‍ර ශිල්පිණිය වෙරෝනිකා මිලර් ජැමිසන් සමග කළ සංවාදයක්.


Moon's First Friends: One Giant Leap for Friendship සුවිශේෂී වන්නේ එය සඳ ගමනේ තාක්ෂණික පාර්ශ්වයට මදක් අමතක කරමින් වඩා හැඟුම්බර ස්වභාවයක් එයට එකතු කරන්නට උත්සාග ගෙන ඇති නිසයි. ඒ අනුව මෙහි සඳ ඉදිරිපත් කර ඇත්තේ මිනිස් ලෝකය දෙස දයාබරව විමසිල්ලෙන් බලා සිටි සචේතනික මිතුරු වස්තුවක් ලෙසයි. පෘථිවිය බිහිවූ වසර බිලියන 4.5 කාලයක් තිස්සේ සඳ හුදකලාවේ එදෙස බලා සිටිනවා. ඩයිනෝසොාරයන් බිහිවී මිහිතලය මත සැරිසරා වඳ වී යන සැටිත්, ඊජිප්තුවේ පිරමීඩ ඉදිවන අයුරුත්, මිනිසා ගුවන් යානා තාක්ෂණය ඇසුරින් පියාසර කරන අයුරුත් සඳට පෙනෙනවා. කිසියම් දිනක පෘථිවියෙන් මිතුරෙක් තමා බැහැ දැකීමට එනු ඇතැයි යන දයාබර බලාපෙරොත්තවත් සඳට තිබෙනවා. සඳ බොහෝ කාලයක් තිස්සේ බලා සිටි අවස්ථාව උදා වන්නේ 1969 දී නීල් ආම්ස්ට්‍රොන් සඳ මත පා තැබීමත් සමගයි.



දරුවන්ට උචිත වූ වඩාත් හැඟීම්බර ස්වභාවයක් ඉස්මතු කරමින් ප්‍රතිනිර්මාණය කරමින් සඳ ගමනේ කතාන්දරය ඉදිරිපත්කරන මෙම කෘතියේ සිතුවම්වල සඳ ඉතා සෞම්‍ය හා හුරු බුහුටි ආකාරයෙන් චිත්‍රණය කර තිබෙනවා.
සඳ ගමන පිළිබඳව මේ අයුරින් දරුවන් දැනත යුතු බොහෝ කරුණ සම්පිණ්ඩනය කරමින් ලියැවුණු කෘති විශාල ප්‍රමාණයක් සඳ ගමනේ ස්වර්ණ ජයන්තිය සමග එළිදැක තිබෙනවා. එය ළමා සාහිත්‍ය කෘති මගින් කළ හැකි හා කළ යුතු බොහෝ දේ පිළිබඳව අපට ඉඟියක් සපයනවා.

Wednesday, April 3, 2019

අද, අප්‍රේල් 03 වැනිදා අන්තර්ජාතික පින්තූර කතා පොත් දිනයයි. ඒ අනුව පින්තූර කතා පොත් පිළිබඳව කතාබහක් ඇති කරගැනීමට අද දිනය නිමිත්තක් කරගත හැකිය.

දරුවන්ට කියැවීමේ හුරුව

Saturday, January 12, 2019

දරුවා සමග කියැවීම වැදගත් ඇයි?


තම දරුවාට මනා අධ්‍යාපනයක් ලබා දිය යුතු බව සෑම දෙමව්පියෙක්ම පාහේ සිතති. එහෙත් හොඳ අධ්‍යාපනයක් ලබා දීමට නම් දරුවා කුඩා වයසේ සිට කියැවීමට හුරු කළ යුතු බව බොහෝ දෙමව්පියන් දන්නා බවක් නොපෙනේ. දරුවා ඉදිරි අධයාපන ක්‍රියාවලියට හුරු කිරීමට අමතරව එලෙස එක් කියැවීමේ ධනාත්මක බලපෑම අති මහත්ය. එබැවින් දරුවාට පොත පත ලබා දී ඔහු කියවන තුරු බලා නොසිට ඔහු කියැවීම කෙරෙහි ක්‍රියාකාරීව යොමු කිරීමට උත්සාහ ගැනීම කළ යුත්තකි. එහිදී ප්‍රධාන වශයෙන් මුල් ළමා වියේදී මව හෝ වෙනත් වැඩිහිටියන් දරුවා සමග කියැවීම වැදගත්ය. එලෙස දරුවා සමග පොත පත කියැවීම, එසේත් නැත්නම් පොත බලා ඔහුට/ඇයට කතාන්දර කියා දීම කරුණු කිහිපයක් නිසා දරුවාගේ මානසික සහ පුද්ගල සංවර්ධනයට හේතු වේ.

ඥාණන ක්‍රියාවලිය

ඥාණනය යනු සරලවම බුද්ධිය මෙහෙයවීම යන්නයි. කතාන්දර අසා සිටින දරුවා එහි පියවරින් පියවර වන සිදුවීම්වල විකාසනය හඳුනාගැනීමේ හැකියාව ලබා ගනී. එමෙන්ම චරිත අතර සබඳතාවන් සහ පින්තූර මගින් කතාව ගොඩනගාගැනීමේ හැකියාවද ඒ ඔස්සේ ඔහුට ලැබේ. කතාව කියා දීමට පෙර පින්තූර දෙස බලා සිදුවන දේ අනුමාන කිරීමට දරුවාට අවස්ථාව ලබා දීමද හොඳ බුද්ධිවර්ධන අභ්‍යාසයකි. එමෙන්ම කතාන්දරය සම්පූර්ණයෙන්ම රස විඳීමට නම් දරුවා එහි මුල් සිද්ධීන් ගැන මකත තබා ගත යුතු අතර එය මතකය පිළිබඳ පුහුණුවකි. ඊට අමතරව කතාව අවසානයේදී එම කතාව නැවත තමා වෙනුවෙන් මතකයෙන් කියන්නැයි වැඩිහිටියා විසින් ඉල්ලා සිටීම මතක වර්ධනයට සුදුසු අභ්‍යාසයක් වේ. කතාව ඇසුරින් සරල ප්‍රශ්න ඇසීමද දරුවාට ලබා දිය හැකි ඥාණනය හා සබැඳි ක්‍රියාකාරකමකි.
එසේම කියැවීම යනු යම් කාලයක් එක තැනක හිඳ එක් අරමුණකට සිත යොදවමින් කෙරෙන ක්‍රියාවලියකි. එබැවින් එය දරුවාගේ අවධානය යොමු කිරීමේ හැකියාව ද වර්ධනය කරයි.

ලේඛන ක්‍රියාවලිය පිළිබඳ මූලික හුරුව ලබා ගැනීම

මෙහිදී අකුරු නමින් හඳුන්වන දෘෂ්‍ය සංකේත පද්ධතිය හා අප භාවිතා කරන භාෂාවේ වචන නැමති ශබ්ද සංකේත පද්ධතිය අතර ඇති සබඳතාව දරුවා වටහා ගනී. මව හෝ වැඩිහිටියා ඇඟිල්ල තබා පෙන්වන තැන ඇති රූපමය ඒකකය හා ඇගේ/ඔහුගේ මුවින් පිටකරන ශබ්ද අතර සබඳතාවක් ඇති බව දරුවාට ප්‍රථම වරට දැනෙන්නට පටන් ගනී. මෙය එදිනෙදා ජීවිතයේ සහ අධ්‍යාපනයේදී ඔහුට වැදගත් වන අකුරු සහ වචන වල අර්ථ පිළිබඳව ඔහු ලබන මුල්ම අත්දැකීම වෙයි. එම අත්දැකීම නිසි ලෙස ලබා දීම මගින් පාසල් අවධියේදී ඔහු පිවිසෙන අධ්‍යාපන ක්‍රියාවලිය මෘදු ලෙස කරගෙන යාමට අවශ්‍ය පදනම සැකසේ. එමෙන්ම වමේ සිට දකුණටත්, ඉහළ සිට පහළටත් වශයෙන් වන කියැවීමේ රටාව මෙහිදී දරුවා හඳුනාගනී. පොත පත පමණක් නොව එදිනෙදා භාවිත කරන භාණ්ඩවල ලේබල හෝ මහ මග දකින නාම පුවරු ආදියද ළමයා සමග කියැවීමද වඩාත් ප්‍රායෝගික අභ්‍යාසයකි.

මව සහ දරුවා අතර සම්බන්ධතාවය

දරුවා ඇකය මත හෝ ළඟින් තබාගෙන පොත කියවන විට ඔහු/ඇය සමග වැඩිහිටියාට ඇති සබඳතාව දියුණු වේ. කැවීම, සේදීම, නිදි කරවීම වැනි ඉපදුණු දා සිට දරුවා සමග යෙදෙන ක්‍රියාකාරකම්වලට බැහැරින් ලැබෙන කියැවීමේ අත්දැකීම දරුවාට අලුත් එකක් වෙයි. එමෙන්ම කියවන පොත්වල රසවත් කරුණු දෙදෙනාම එකතුවී රසවිඳින බව පෙන්වීම දෙදෙනාටම මිහිරි මතකයක් එකතු කරයි. යම් පොතක් කියැවීමෙන් පසු එහි ඇතුළත් සිද්ධි සහ චරිත ආදිය වෙනත් අවස්ථාවල මතක් කිරීම මේ වින්දනයේම එක කොටසක් වෙයි. එමෙන්ම කතාවට අදාළ හැගීම් මුහුණින් පෙන්වීම, දරුවාට ඒවා හඳුනාගැනීමට උදව් කිරීමද මව සහ දරුවා අතර අන්තර්බන්ධනය දියුණු වීමට ඉවහල් වේ. එමෙන්ම නින්ද යන තුරු කතා කීම හෝ පොත් කියැවීම මේ බන්ධනය වඩාත් දැඩි කරයි. එක් අතකින් එය මව යම් මොහොතකට වෙන් වන බව දැනෙන (මව දරුවා සමගම නින්දට නොයන බැවින්) අවස්ථාවක් වන අතර එහිදී මව ඔහු/ඇය එක්වරම නින්දට නොයවා ඔහු සමග රැඳෙමින් කතාවක් කීම ඔහුගේ මානසික සුරක්ෂාව පිළිබඳ හැගීම දියුණු කරයි. එමෙන්ම එය තමා වෙනුවෙන්ම කාලයක් වෙන් කළ බව ඔහුට හැඟවීමට සමත් වෙයි.

සහභාගීත්වය සහ ආදර්ශය


දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නේ අනුකරණයෙනි. මවත් කියවීම මව විසින් සුද කරන විට දරුවාද එය කියැවීමට උත්සාහ ගනී. මව ශබ්ද උච්ඡාරණය කරන අයුරු සහ කතාව  රස විඳින අයුරු දරුවාට නිරීක්ෂණය වන අතර කියැවීම ක්‍රියාකාරකමක් ලෙස අනුකරණය කිරීමට එයින් පෙළඹවීමක් ඇතිවේ.

මේ අයුරින් දරුවා සමග කියැවීම ළමා මනසට කරන යහපත් බලපෑම් රැසක් වේ. එමෙන්ම දරුවා සමග කියැවීම  මවට හෝ වැඩිහිටියාට ප්‍රීතිජනක අත්දැකීමක් බව පෙන්වීම ඔස්සේ කියැවීම මගින් රසවින්දනය ලබා ගැනීමට දරුවා හුරු කළ හැකිය. විශේෂයෙන්ම දරුවාගේ අධ්‍යාපනයේ මූලික පියවර වන්නේද මේ කියැවීමේ හුරුවයි. 

Thursday, January 3, 2019

ළමා සාහිත්‍යය; අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස එහි වැදගත්කම.


ලෝක සාහිත්‍ය සම්ප්‍රදායයට අයත් ඉතා වැදගත් අංගයක් ලෙසින් ලෙසින් ළමා සාහිත්‍යය සඳහා සැලකිය යුතු අවධානයක් සහ වටිනාකමක් ලැබී තිබේ. කෙටි කතා, නවකතා ආදී අනෙක් සාහිත්‍යාංගයන්ට වඩා ළමා සාහිත්‍ය කෘති ඔස්සේ කියවන්නා තුළ ඇති කළ හැකි බලපෑම අධික බව පොදුවේ පිළිගැනෙන සත්‍යයකි. ඒ ළමා සාහිත්‍යයේ ඉලක්කගත පාඨක පිරිස වන වැඩෙන මිනිසා හෙවත් ළමයාගේ මනසට පහසුවෙන් පොළඹවාලිය හැකි එමෙන්ම ඉක්මනින් බලපෑම් එල්ල කළ හැකි බැවිනි.
ළමා සාහිත්‍යයයේ වපසරිය සහ සීමාවන් පිළිබඳව හඳුනාගැනීම කිහිප අයුරකින්ම වැදගත් වෙයි. ප්‍රධාන වශයෙන්ම ළමා සාහිත්‍යකරණයේ යෙදෙන නිර්මාණකරුවන්ට සිය නිර්මාණාශීලීත්වය මුවහත් කරගැනීම සඳහා ළමා සාහිත්‍යය පිළිබඳ දැනුම ලබා ගැනීම අවශ්‍ය වේ. ළමා සාහිත්‍යයේ ආකෘති, ප්‍රවර්ග, ප්‍රවණතා, සහ විභවතා හදුනාගැනීම මගින් ඕනෑම රචකයෙකුට තමන්ගේ ලේඛකත්වයේ සීමාවන් පුළුල් කරගැනීමට අවස්ථාව ලැබේ.


එමෙන්ම ළමා සාහිත්‍යය විෂය ක්ෂේත්‍රයක් ලෙස වෙනමම හැදෑරීමට ලක් වන්නකි. ඒ අනුව ළමා සාහිත්‍යයට සම්බන්ධ අධ්‍යයනයන් සිදු කිරීම විශ්වවිද්‍යාල මට්ටමෙන් සිදුවේ. ළමා සාහිත්‍යයේ නිර්මාණාත්මක පාර්ශ්වය, එහි සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ, මනෝවිද්‍යාත්මක බලපෑම්,  දේශපාලනික කියැවීම් වැනි පාර්ශ්වයන් අධ්‍යයනය කිරීම දක්වා දුරක් ළමා සාහිත්‍යය ඔස්සේ යාමට විශ්වවිද්‍යාල අධ්‍යයන හා පර්යේෂණ මට්ටමේදී පුළුවන. විෂයයක් ලෙස ළමා සාහිත්‍යයේ ඇිත වැදගත්කම අවධාරණය කිරීමට හා වෙනත් විෂය ක්ෂේත්‍ර සමග ළමා සාහිත්‍යයේ ඇති අන්තර්සබඳතා හඳුනාගැනීමටත් මෙම අධය්‍යයනයන් වැගත්වේ.

මීට අමතරව ළමා සාහිත්‍යය ප්‍රබල ඉගැන්නුම් මෙවලමකි. කතාන්දර ඇසීම සෑම සමාජයකම දරුවන් අත්විඳින ක්‍රියාකාරකමක් සහ විනෝදාස්වාදය සපයන මාර්ගයක් වන අතර ආකල්ප, විශ්වාස හා දැනුම සම්ප්‍රේෂණය කරන මාධ්‍යයක් ලෙස මෙම කතාන්දර වැදගත් වෙයි. ඒ අනුව ළමා සාහිත්‍යය යනු මුල් ළමා විය සංවර්ධනයේදී මගහැර යා නොහැකි ඉගැන්නුම් මෙවලමක්ද වෙයි. එබැවින් අධ්‍යාපන ක්‍රියාවලියට ආදළ වන තවත් එක් ක්ෂේත්‍රයක් ලෙස ළමා සාහිත්‍යය අවධානයට ලක්වේ.


ළමා සාහිත්‍යය වෙනත් කලා මාධ්‍ය රැසක් සමග අන්තර්සබඳතාවක් පවතී. චිත්‍රකලාව ළමා සාහිත්‍යය හා සම්බන්ධ වන්නේ එය ළමා සාහිත්‍ය නිර්මාණ ශක්තිමත් කරන එක් උපාංගයක් ලෙසිනි. කියවීමේ මුල් අදියරේ සිටින දරුවන් වෙනුවෙන් නිර්මාණය වන පින්තූර කතාපොත් වල අකුරුවලට වඩා මුල්තැන දෙන්නේ පින්තූරයටයි. කියැවීමේ හැකියාව මදක් වර්ධනය කරගත් දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන පොත්වලදී අකුරු සඳහා දෙන අවධානය ඉහළ යන නමුත් පිංතූර සඳහා යොදන අවධානය අඩු නොවේ. එමෙන්ම කියැවීමේ ඉහළ අදියරවල සිටින ළමුන් සඳහා නිර්මාණය කරන ළමා සාහිත්‍ය කෘතිවල අවස්ථානුකූලව අඩු වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙමින් පින්තූර අන්ගත කරයි. මෙලෙස ගත් කල ළමා සාහිත්‍යය සිතුවම් සමග විශේෂ සම්බන්ධතාවක් ඇති විශය ක්ෂේත්‍රයකි. එබැවින් ළමා සිතුවම් නිර්මාණ ශිල්පය විශේෂ ප්‍රවීණතාවකින් යුතුව නියැලිය යුතු විෂයයක් බවට පත්වී තිබේ.


එමෙන්ම ළමා සාහිත්‍ය කෘති සහ සිනමාව අතර ඇත්තේ පුළුල් ගනුදෙනුවකි. විශ්වීය මට්ටමින් ජනප්‍රියභාවයට පත් වී ඇති බොහෝ ළමා සාහිත්‍ය කෘති සිනමාවට නැගී තිබේ. විශේෂයෙන්ම සජීවීකරණ සිනමාව ළමා සාහිත්‍ය කෘති පදනම් කරගැනීම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති බව පෙනේ. ළමා සාහිත්‍ය කෘතිවල කතා සහ වස්තු විෂයයන් ඇනිමේෂන් සිනමා මාධ්‍යයට වඩාත් සුදුසු වීම මෙයට හේතුව වී තිබේ. මේ පිළිබඳව පුළුල්ව කතා බහ වන ලිපියක් මෙම බ්ලොග් අවකාශයේදී නුදුරේදී පළ වනු ඇත. 


මීට අමතරව ළමා සාහිත්‍යය යනු අද වන විට කර්මාන්තයක් බවටද පත් වී තිබේ. වෙළඳපොළ තරඟය සඳහා ගුණාත්මක භාවයෙන් ඉහළ පොත් පළ කිරීමට ගන්නා උත්සාහය ළමා සාහිත්‍යයේ නව මුහුණුවර ඉස්මතු කරන්නට සමත් වී තිබේ. ළමා පොත් කෙරෙහිම විශේෂ අවධානයක් යොමු කරන පොත් ප්‍රකාශකයන් බිහිවී ඇති අතර පොත් ප්‍රදර්ශනවල විශේෂ ඉඩකඩක් ළමා පොත් ප්‍රකාශකයන්ට හිමි වේ. එමෙන්ම ළමා පොත්වල හැඩය, කඩදාසි වර්ග සහ නිමාව පිළිබඳව විශාල දැනුමක් හා සම්මත පිළිපදිමින් සහ බිඳදමමින් ඉදිරියට යන ක්ෂේත්‍රයක් බවටද ළමා සාහිත්‍ය කෘති ප්‍රකාශනය පත් වෙමින් තිබේ.


මීට අමතරව තවමත් අපේ රටේ නොමැති වුවත් ළමා සාහිත්‍යටම වෙන්වූ පොත් ප්‍රදර්ශන, සැනකෙළි සහ උත්සව ජාත්‍යන්තර මට්ටමේදී දැකිය හැකිය. ඒවා මගින් ළමා සාහිත්‍යයේ අවකාශය විවිධත්වයෙන් පුරවමින් තිබේ. රටක් ලෙස අපටද එවන් අවස්ථා නිර්මාණය කරගත හැකිනම් ළමා සාහිත්‍යය අධ්‍යයනය කිරීම සහ ඒ සමග අපට ගනුදෙනු කළ හැකි ආකාරයන් මොනවාදැයි ගවේෂණය කිරීම සඳහා අලුත් මංපෙත් විවිර වේ. එවන් ක්‍රියාකාරකම් ඔස්සේ ළමා සාහිත්‍යයේ ඍජු බලපෑම ලබන දරුවන්ටත්, ඒ සම්බන්ධව උනන්දු වන නිර්මාණකරුවන් සහ ප්‍රකාශන ක්ෂේත්‍රයේ පාර්ශ්වයන්ටත් අවශත්‍යාවශ්‍ය දැනුම හා මග පෙන්වීම ලැබෙනු ඇත. 

Wednesday, December 19, 2018

පූස්රාලට තොප්පි පැළඳූ ඩොක්ටර් සෙයුස්.


ලෝක ළමා සාහිත්‍යෙය් දිශානතිය වෙනස් කිරීමට ප්‍රබලවම දායක වූ ලේඛකයා වශයෙන් ඩොක්ටර් සුයෙස් හැඳින්වීම වරදක් නොවේ. 1904-1991 කාලයේ ජීවත් වූ ඩොක්ටර් සුයෙස්ගේ සැබෑ නම තියඩෝර් සෙයුස් ගියසෙල් වන අතර ඔහු ලේඛක නාමය ලෙස  මුලදී භාවිත කළ ඩොක්ටර් සුයෙස් යන්න පසුකාලීනව ඔහුගේ නිත්‍ය නම බවට පත් විය. අද පවා ඔහු ලොව පුරා ළමා සාහිත්‍යට සම්බන්ධ නිර්මාණකරුවන්ට ආභාසය සපයන පුරෝගාමියෙකි.


ඔහුගේ පොත් තුළින් ඔහු කළ විප්ලවයන් කිහිපයකි.  වඩාත් ආකර්ෂණීය අන්දමින් ළමා කෘති නිර්මාණය කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු විණි. එකල ඇමරිකාවේ පළවූ බොහොමයක් ළමා කෘති කිසිසේත්ම ළමාහිතකාමී නොවූ අතර ඒවායේ දරුවන්ගේ අවධානය හෝ ඇල්ම ඇති කළ හැකි ගුණාංගයන් අවම විණි. එහෙත් ඩොක්ට සෙයුස්ගේ කතා බොහෝ විට හාස්‍යෙයන් පිරුණු ඒවා විය.ඒවායේ ලියැවී ඇත්තේ ඉතා සරල බොළඳත්වයට ආසන්න වූ ළමුන්ට ගැලපෙන සිදුවීම්ය. එමෙන්ම ඔහුගේ පොත්වල ඔහු විසින්ම නිර්මාණය කළ අපූරු සිතුවම් පිරී ඇත. ඒවායේ චරිත නිර්මාණය වන්නේ ළමයින්ට වහා මතකයේ රැදෙන පරිදිය. උදාහරණයක් ලෙස ඔහුගේ කැට් ඉන්ද හැට් කෘතියේ ඇත්තේ දෙමව්පියන් නිවසේ නැති අතරතුර කුඩා දරුවන් දෙදෙනෙකු හා එක්ව දඟකාරකම්වල නියුතුවන බළලෙකු පිළිබඳවය.


 මෙවන් තේමාවන් නිර්භයව ළමා සාහිත්‍යය වෙත හඳුන්වාදෙන්නට ඩොක්ටර් සෙයුස් සමත් වූ අතර ඒවා අතිශයින්ම ළමා හිතකාමී විය. අද පවා කැට් ඉන්ද හැට් වැඩිම අලෙවියක් ඇති ළමා කෘතියකි. ඔහු ලොව වැඩිම අලෙවියක් ඇති ලේඛකයන් නව දෙනා අතර සිටින අතර ඔහුගේ කෘතිවල පිටපත් මිලියන 500කට වඩා ලොව පුරා අලෙවි වී ඇති බව කියැවේ.

එමෙන්ම ඔහුගේ වඩාත්ම සුවිශේෂී ලක්ෂණය වන්නේ සීමිත වදන් පෙළක් ඇසුරින් කතාන්දර නිර්මාණය කරන්නට ඔහු දැක්වූ විශේෂ සමත්කමයි. කියැවීමට හුරු වන මුල් අවධියේ දරුවන්ට ගැලපෙන සීමිත වචන මාලාවක් තුළින් රසවත් පොතක් ලිවිය හැකි බව ඔහු ඔප්පු කොට පෙන්වා දුන්නේය. සැබැවින්ම ඔහුට එම අභියෝගය ලබා දුන්නේ ඔහුගේ පොත් ප්‍රකාශකයා මෙන්ම ප්‍රකට ලේඛකයෙකුද වන බෙනට් (Bennett Cerf) විසිනි. ඉතා අසීරුවෙන් එම අභියෝගය ජය ගත් ඩොක්ටර් සෙයුස් ඉන් තම පෞද්ගලික සාර්ථකත්වය අත් කරගත්තා පමණක් නොව කිසිදාක යල්පැන නොයන ආකාරයේ පොත් පෙළක්ද නිර්මාණය කළේය. එම කෘතිවල අන්තර්ගතව ඇති නිර්මාණශීලී පද ගැලපීම් සහ සමාන ශබ්දැති පද  ඕනෑම දරුවෙකුට කියැවීම රසවත් අත්දැකීමක් බවට පත්වෙයි.


ඔහුගේ කතාන්දර විවිධ භාෂාවන්ට නැගී ඇති අතර සිනමාව සහ රූපවාහිනිය වැනි විවිධ මාධ්‍යවලටද අනුවර්තනය වී ඇත. එමෙන්ම 1960න් ඇරඹි ඔහුගේ ළමා කෘති ලේඛන දිවිය තුළ හැටකට ආසන්න වන කෘති ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ඔහු සමත් වී ඇත.

ළමා සාහිත්‍යයට එළැඹීමට පෙර පුවත්පත් කාටූන් ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට කර්මාන්තයේද නියුතුව සිටි ඩොක්ටර් සෙයුස් කලක් යුධ සොල්දාදුවෙකු ලෙසින්ද සේවය කොට තිබේ.  ඔහුගේ කෘති එලෙස ඔහු විවිධ ක්ෂේත්‍ර තුළින් එක් රැස් කරගත් අත්දැකීම් සහ දැනුම ඇසුරු කරගනිමින් නිර්මාණය වී ඇත. එබැවින් ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට දැනෙන තරම් හාස්‍යයක් එම කෘතිවල අන්තර්ගතය.


ඩොක්ටර් සෙයුස් ගැන ඇති අපූරු තොරතුරු බොහෝය. ඔහුගේ පළමු කෘතිය ප්‍රකාශකයන් විසි හත් දෙනෙකු අතින් ප්‍රතික්ෂේප වී තිබීම ඉන් එකක් පමණි.


Tuesday, December 18, 2018

සීය නටනවා අමුතුම නැටුමක්

සීය නටනවා අමුතුම නැටුමක්
මෙම අපූරු පොතේ ප්‍රධාන චරිතය වෙන්නේ සීයා කෙනෙක්. දවසක් සීයාට එක දිගට නටන්න පටන් ගන්නවා. නවත්තගන්න බැරි සීයගේ නැටිල්ල අනික් අයටත් බෝ වෙනවා. ඒ බෝ වෙන නැටුම හරිම හාස්‍යජනක විදියට ඉදිරිපත් කරමින් තතාන්දරය ගොඩ නැගෙනවා. කතාවේ අවසානය පවා හරිම වෙනස්. ඒ වගේම සෞම්‍ය එකක්. ඒ වගේම සිතුවම් වලින් ඒ සඳහා දිය හැකි උපරිම සහය ලබා දී තිබෙනවා. චම්මි ඉරේෂා විසින් ලියා ඇති මෙය මෙරට ළමා සාහිත්‍ය කෘති අතරේ මට හමු වුණු විශේෂම පොතක්. කවරය සහ නම දුටු පමණින්ම ඒ වෙනස අපිට දැනෙන් පටන් ගන්නවා.

ලංකාවේ ළමා සාහිත්‍යය අධ්‍යයන ක්ෂේත්‍රයක් හෝ කර්මාන්තයක් විදියට එතරම් දියුණු වෙලා නැහැ.  ඒ නිසා අපේ ළමා පොත්වල විවිධ දුර්වලතා සහ සීමා මායම් තිබෙනවා. නමුත් මෙය ඒ සීමාවලින් ඔබ්බට ගිය කෘතියක්.
සදාචාරාත්මක පණිවුඩයක් අන්තරගත විය යුතුයි යන්න ළමා පොත් වලට උරුම ලක්ෂණයක් විදියට පොදුවේ සැලකෙනව. නමුත් අපේ ඇතැම් පොත් තුළ නිර්මාණශීලීත්වයට වඩා ආදර්ශයට තැනක් දීම දකින්න ලැබීම නම් දුර්වලතාවයක් විදියටයි හඳුනාගත යුත්තේ. ආදර්ශයක් ඇතුළත් නොකරමින් පවා දරුවන්ට රසවිඳිය හැකි නිර්මාණ බිහි කරන්න පුළුවන්.  ‘සීය නටනවා අමුතුම නැටුමක්’ ඒ ආකාරයේ කෘතියක්.
මෙහි සිතුවම් නිර්මාණය කොට තිබෙන්නේ පවිත්‍රා වනමලී විසින්. ඇය සහ කතුවරිය පොතට භාවිතා කර තිබෙන්නේ අපිට එතරම් හුරු පුරුදු නොවන සිතුවම් ශෛලියක්.  එ් නිසා මේ පොත ළමයින්ට පමණක් නොවෙයි වැඩිහිටි අපටත් නැවුම් රසයක් ගෙනෙනවා.


මෙය වයස 08-10 වයස් ඛාණ්ඩයේ දරුවන් සඳහා සුදුසු වන ආකාරයෙන් වචන ප්‍රමාණයට යම් සීමාවක් යොදාගනිමින් ලියැවුණු පිංතූර කතා (Picture Book) පොතක්. පිංතූර කතා පොතක විශේෂත්වය වන්නේ වචන තරම්ම ඇතැම් විට වචන වලටත් වඩා සිතුවම් වැදගත් වීමයි. ඒ බව මනාව අවබෝධ කරගනිමින් කෘතියේ වචන, සිතුවම් වගේම පිටු සැකැස්මත් නිර්මාණය කරගන්න කතුවරිය සහ සිත්තරිය සමත් වී තිබෙනවා. 

ළමා සාහිත්‍ය මූලිකාංග 01. සදාචාර සංකල්ප

ළමා සාහිත්‍ය මූලිකාංග 01.
සදාචාර සංකල්ප

ළමා සාහිත්‍යයේ එකම අරමුණ ළමයින්ට හොඳ නරක ඉගැන්විම නොවන බව මේ වන විට සාකච්ඡාවට ගැනෙන අදහසක් වී තිබේ. එහෙත් හුදෙක් පණිවිඩයක් අන්තර්ගත කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දීම මිස සදාචාර සංකල්ප සන්නිවේදනය ළමා කෘතිවලින් ඉවත් විය යුතු බවක් ඉන් අදහස් නොකෙරේ. එබැවින් අද පවා ලියැවෙන බහුතරයක් ළමා කෘතිවල සදාචාරමය පණිවිඩයක් අන්තර්ගතව තිබේ.


ළමා සාහිත්‍යය වැඩුණු අනන්‍යතා සහිත විශේෂ සාහිතයාංගයක් ලෙස වර්ධනය වෙන්නට පෙරාතුව ළමා සාහිත්‍යෙය් තැන ගත්තේ කතාන්දරයි. වැඩිහිටියන් විසින් ළමුන්ට වාචිකව කියාදෙන මේ කතාන්දර ජනශ්‍රැති, ඓතිහාසික වීරයන් පිළිබඳ කතාන්දර, දේවපුරාණ හෝ ආගමික සාහිත්‍යෙයන් ගත් කොටස්වලින් සකසාගත් ඒවා විය. කෙසේ වුවද මේ සෑම කතාන්දරයක්ම පාහේ හොඳ නරක පිළිබඳව සංකල්පවලින් යුක්තව නිර්මාණය වූ ඒවා බව පෙනේ. මේවා තුළින් පවා සදාචාරය පිළිබඳ හැගීමක් දරුවන්ට දීමට උත්සාහ ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මේ කතාන්දරවල ඇති පොදු ලක්ෂණය නම් හැම විටම නරක අභිබවා හොඳ ජයග්‍රහණය කරන බව පෙන්වීමයි. එමෙන්ම අහිංසක සහ අවරවරප්‍රසාධිත පුද්ගලයන් හෝ කණ්ඩාම් අධිමානුෂීය බලයක් හෝ උපක්‍රමශීලී බුද්ධිය මෙහෙයවීමෙන් ජය ගන්නා ආකාරය මේ කතාන්දරවල අන්තර්ගතය. ඒ අනුව හොඳ නරක දේ අතුරින් හොඳ ජයග්‍රහණය කළ යුතුය යන සංකල්පය මේ කතාන්දර ඇරසුරින් ළමයින් වෙත සම්ප්‍රේෂණය විණි. නූතනයේදී අපි ළමා කතාවල හොඳ නරක පිළිබඳ සරල බෙදීම ඒ අයුරින්ම අඩංගු කිරීමට උත්සා නොගත්තද අපගේ තෝරාගැනීම විය යුත්තේ හොඳ දේ ය යන්න පිළිබඳව හැඟීමක් ඇති කිරීම නූතන ළමා කතා තුළින්ද අපි බලාපොරොත්තු වෙමු.


එමෙන්ම ළමයෙකු තුළ වර්ධනය විය යුතු කරුණාව, සහකම්පනය, ආචාරශීලීත්වය වැනි සංකල්ප වඩාත් උපක්‍රමශීලීව ළමයාට හඳුන්වා දීම සදහා නූතන ළමා කතා තුළින් උත්සාහ ගැනේ. එමෙන්ම වඩාත් නූතන මානුශීය සංකල්ප වන අනෙකා පිළිබඳ සමානාත්මතාව, වාර්ගිකත්වය ප්‍රතික්ෂේප කිරීම, වැනි වඩාත් ප්‍රබල ලෙස කියාදීම සඳහා ළමා කතා යොදා ගැනීම වර්තමාන ළමා සාහිත්‍යෙය් නැඹුරුවකි. මෙවන් කරුණු ඍජුවේ ඉගැන්වීමට වඩා ඒවා රසවත් අත්දැකීමත් ලෙස සාහිත්‍යය ඔස්සේ ළමයා වෙත ලබා දෙන්නට හැකි බව පොදුවේ පිළිගත් කරුණකි. ළමා සාහිත්‍යකරුවා මුහුණ දෙන මූලික අභියෝගයක් වන්නේද රසවත් බව ඌන නොකරමින් එකී පණිවිඩය අන්තර්ගත කිරීමය.

හත්පෙති මල ප්‍රකට ළමා කතාන්දරයකි. එහි අවසානයේ ප්‍රබල සදාචාරාත්මක පණිවිඩයක් ගැබ්ව තිබේ. එහෙත් ඉන් පෙර කුතුහලය හා විස්මය රැගත් අපූරු කතාන්දරයක් දිගහැරෙයි. සදාචාරාත්මක පණිවිඩය කතාවට ලබා දී ඇති තාර්කික අවසානයක් මිස අවවාද දීමක් ලෙස හැගී නොයයි.

  

Monday, September 3, 2018

ළමා සාහිත්‍ය මූලිකාංග 02 සරල බව

ළමා සාහිත්‍ය මූලිකාංග  02

සරල බව

ළමා සාහිත්‍යය සරල බව පදනම් කොට ගෙන බිහි වන්නකි. ළමයා යනු වැඩෙමින් පවතින මනසක් ඇති ජීවියෙකු බව අපි පිළිගන්නා බැවින්, වැඩුණු මිනිසෙකු තරම් කරුණු අවබෝධ කරගැනීමේ හැකියාවක් නොමැත. එබැවින් ඔහු ග්‍රහණය කරගන්නා දේ කුඩා මනසට ගැලපෙන සරල බවින් යුක්ත වීම අනිවාර්ය වේ.
මේ සරල බව කියැවීමේ ප්‍රවීණතාවයේ විවිධ අදියරවලට ගැලපෙන ලෙස ලියැවෙන ළමා කෘතිවල විවිධ අයුරින් අන්තර්ගත විය හැකිය එනම්. අකුරු උගැන්ම අරඹන වයසේ දරුවන් වෙනුවෙන් සීමිත වදන් සහ අක්ෂර මාලාවක් ඇසුරින් ලියැවෙන කෘතියකට වඩා කියැවීම ප්‍රගුණ කළ ඉහළ වයස් කාණ්ඩවල දරුවන් වෙනුවෙන් ලියැවෙන කෘතියක සරල බව අභියෝගයට පත් වන අවස්ථා තිබිය හැකිය. එසේ වුවද මේ ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා ලියැවෙන කෘතියක්ම සරල බවින් බැහැර නොයයි.
ළමා කෘතියක ඇති සරල බව කරුණු කිහිපයක් ඔස්සේ හඳුනාගත හැකිය.


තේමාත්මක සරල බව -

අප දරුවන් වෙනුවෙන් ලියන්නට තෝරා ගන්නේ සරල වූ තේමා පමණි.ඒවා බොහෝ විට දරුවන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි ඔහුගේ අත්දැකීම් පරාසය තුළ නියෝජනය වන තේමාවන් වේ. සමගිය, සත්ව කරුණාව, සහෝදර-රියන් සමග කරන ගනුදෙනු හෝ ක්‍රීඩා ආදිය උදාහරණ ලෙස ගත හැකිය. මෙවන් සරල තේමා නොවන දේශපාලනය, ආර්ථික විද්‍යාව වැනි සංකීර්ණ තේමා කිසි විටෙක ළමා සාහිත්‍ය කෘති විසින් ඇසුරු කරනු නොලැබේ.
Frog and Toad by Arnold Lobel 


සරල චරිත නිරූපණය- 

වැඩිහිටි සාහිත්‍යය කෘතියක් විචාරයට ලක් කරන විට සංකීර්ණ චරිත නිරූපණයෙන් යුතු වීම සාර්ථක ලක්ෂණයක් ලෙස සලකනු ලැබේ. එහෙත් ළමා කෘතියක් තුළ සංකීර්ණ චරිත නිරූපණයක් අවශ්‍ය නොවේ. එමෙන්ම සංකීර්ණ චරිත නිරූපණ ළමයාට අවබෝධ කරගැනීමට දුෂ්කරය. පොදුවේ මිනිස් මනස තුළ හට ගන්නා පොදු භාවයන් ඇසුරින්, එමෙන්ම පොදුවේ මිනිසුන් ක්‍රියා කිරීමට පෙළඹෙන සීමාවන් තුළ කතාන්දර නිර්මාණය කිරීමට ළමා සාහිත්‍යකරුවාට සිදුවේ. මේ සඳහා වන පැහැදිලි හේතුව වන්නේ පුද්ගලයන්ගේ සංකීර්ණ සිතිවිලි සහ ක්‍රියාකාරකම් තාර්කිකව අවබෝධ කරගැනීමට තරම් ළමා මනස මෝරා නොතිබීමය.
ළමා සාහිත්‍යකරුවාට ඇති එක් අභියෝගයක් වන්නේද මෙම සීමාව තුළ හිඳගෙන නැවුම් අයුරින් නිර්මාණාත්මක සාහිත්‍ය කෘති ගොඩනැංවීමය.



සරල ආකෘතිය -

සංකීර්ණ ආකෘතික හරඹයකින් යුතුව කතාව නිර්මාණය කිරීම වැඩිහිටි සාහිත්‍ය නිර්මාණකරුවාගේ දක්ෂතාවක් විය හැකි වුවත් එය ළමා සාහිත්‍ය කෘතියකදී සාධනීය ලක්ෂණයක් සේ නොසැලකේ.  ඉන් මිදුණු අවස්ථා පැවතිය හැකි වුවත් ඒවා සරල ආකෘතික අත්හදාබැලීමකින් ඔබ්බට නොයයි. සරල සංකල්පයක් ඇසුරින් ඉදිරිපත් කරන මුල් අදියරේ ළමා පොත් වල ඇත්තේ  සරල රේඛීය ආකෘතියකි.එමෙන්ම මුල මැද අග සහිත කතාන්දර ඉදිරිපත්  වන විට පවා ඒවා සරල කතාන්දර ආකෘතියකින්ම ඉදරිපත් වේ.



සරල වාග්කෝෂය-

කෘතියක් අදාළ වන කියැවීම මට්ටම අනුව විවිධ විය හැකි එහෙත් පොදුවේ සංකීර්ණ නොවන වාග් කෝෂයක් ළමා සාහිත්‍ය කෘතිවල භාවිත වේ. විශේෂයෙන්ම පළමු කියැවීම් මට්ටමේ සිටින දරුවන් සඳහා වාග් කෝෂය තෝරා ගැනීමේදී සම්පූර්ණ අක්ෂරමාලාවම භාවිතා කරන්නට පවා අවස්ථාව නොලැබේ. දරුවාට මෙතෙක් ඉගෙනගෙන නැති සංකීර්ණ අකුරු සහිත වදන් මෙහිදී යොදාගන්නේ නැත. එමෙන්ම ඉහළ කියැවීම්මට්ටමක සිටින දරුවන් වෙනුවෙන් ලියැවෙන කෘතියක වුවද වාග් කෝෂය යොදා ගැනෙන්නේ දුරවබෝධ වදන් හැකි තරම් මග හරිමිනි. දුරවබෝධ වදන් වැඩිපුර යෙදීම දරුවාට කෘතිය ග්‍රහණය කර ගැනීමට අපහසු වීමට මෙන්ම කියැවීම වෙහෙසකර කාර්යයක් වීමටද හේතු වේ.

මේ අයුරින් සෑම විටම පාහේ සරලත්වයට මුල් තැනක් දීම ළමා සාහිත්‍ය කෘතිවල මූලික ලක්ෂණයක් ලෙස සලකනු ලැබේ.